25 C
Colombo
Friday, June 5, 2026

කන්දකැටිය නාගොල්ල විද්‍යාලයේ පන්ති කාමරයකට මහ රෑ ඇතුළු වූ පිරිසක් මත්පැන් පානය කොට ඩෙස්පුටු පෙරළා දමා යකා නටයි

වියළුව කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් කන්දකැටිය නාගොල්ල විද්‍යාලයට ඊයේ (28) රාත්‍රියේ ඇතුළු වූ පිරිසක් එහි මත්පැන් පානය කොට ඩෙස්පුටු පෙරළා දමා යකා නටා ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.

දරුවන් රැගෙන ඊයේ (29) උදෑසන පාසලට පැමිණි දෙමව්පියන් පිරිසකට පාසැල් පන්ති කාමරයකට ඇතුලු වූ පිරිසක් ඩෙස්පුටු පෙරළා දමා යකා නටා තිබූ ඇති අයුරු මුලින්ම නිරීක්‍ෂණය වී ඇති අතර ඔවුන් විසින් සෙසු දෙමාපියන් දැණුවත් කිරීමද පියවර ගෙන ඇත.

උදෑසන පැමිණී දරුවන් කීපදෙනෙකුට පාසැල් ගෙවත්තේ සිටි කළු රෙද්දක් පොරවාගත් පුද්ගලයෙකුද දැක ගන්නට ලැබුනු බව දෙමාපියන් පිරිසක් අප සමග පැවැසූහ.

වියළුව අධ්‍යාපන කලාපයේ කන්දකැටිය කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයට අයත් නාගොල්ල විද්‍යාලය, ප්‍රදේශයේ දුෂ්කර පාසලක් වන අතර පළමු ශ්‍රේණියේ සිට පස් වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන මෙහි දරුවන් විසිහය දෙනෙකු අධ්‍යාපනය ලබති. ගුරු පිරිස හතරකි.

ඉකුත් දිට්වා සුළි කුණාටු තත්ත්වයෙන් පසුව අනාරක්ෂිත බවට නම් කර ඇති මෙම පාසල මෙම ස්ථානයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවද මේ අතර දෙමව්පියෝ පවසති.

කෙසේ වෙතත් දරුවන්ගේ නැණ නුවණ පාදනය ගමේ පාසල තුළ මෙවැනි සිදුවීමක් ඇතිවීම සම්බන්ධයෙන් දෙමව්පියෝ දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර දරුවෝද දැඩි භීතියකට පත්ව සිටිති.

අප මේ සම්බන්ධයෙන් විද්‍යාලයේ විදුහල්පතින්ම වසන්ත කුමාර මහන්තේ මහතාගෙන්ද විමසුවෙමු.

ඔහු මෙසේ කීය. ඇත්තටම ඔය කියන දිනයේ මම නිවාඩු ගිහිල්ලා හිටියේ .මටත් උදේ මේ තොරතුර දැනගන්න ලැබුණා . හැබැයි මම තවම ලොකු විස්තරයක් දන්නේ නැහැ . අනිත් එක මට මේ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශ දෙන්නත් බැහැ .

සිදුවීම සම්බන්ධයෙන් හදිසි දුරකථන ඇමතුම් අංක119 ඔස්සේ ලදී තොරතුරක් මත කන්දකැටියට පොලිසියේ නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා අද (29) උදෑසන නගොල්ල විද්‍යාලය වෙත පිටත් කර හැරි බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දීපල් ජයතුංග මහතා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles