රුසියාව ඉලක්ක කරගත් යුක්රේන ඩ්‍රෝන යානා ලැට්වියානු දේශසීමාවට ඇතුළු වීම සම්බන්ධයෙන් ඇති වූ දේශපාලන අර්බුදය හමුවේ, ලැට්වියානු අගමැතිනිය වන Evika Silina සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පසුගිය සතියේ ලැට්වියාවේ නැගෙනහිර ප්‍රදේශයට ඩ්‍රෝන යානා දෙකක් කඩා වැටීමෙන් පසු, ඇය එරට ආරක්ෂක අමාත්‍ය Andris Sprudsගේ ප්‍රතිචාරය විවේචනය කරමින්, ඔහුව ධුරයෙන් ඉවත් කර නව අමාත්‍යවරයෙකු පත් කිරීමට පියවර ගෙන තිබුණා.
ඊට විරෝධය පළ කරමින් ස්පෘඩ්ස් නියෝජනය කරන ‘ප්‍රගතිශීලී’ පක්ෂය, එවිකා සිලිනාගේ සභාග රජයට ලබාදුන් සහාය ඉල්ලා අස්කර ගෙන ඇති අතර, ඒ හේතුවෙන් ලබන ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මහා මැතිවරණයට මාස කිහිපයකට පෙර රජය බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.
ආරක්ෂක අමාත්‍ය ධුරය සඳහා ශක්තිමත් අපේක්ෂකයෙකු සිටියදී ‘දේශපාලන වාචාලයන්’ අර්බුදයක් තෝරාගෙන ඇති බවත්, තමා ඉල්ලා අස්වන නමුත් සිය උත්සාහය අත්නොහරින බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.
ඉකුත් දින කිහිපය තුළ ඩ්‍රෝන යානා තුනක් ලැට්වියානු ගුවන් සීමාවට ඇතුළු වී ඇති අතර 2026 වසර ආරම්භයේ සිට මෙවැනි සිදුවීමක් වාර්තා වූ දෙවන අවස්ථාව මෙය වනවා.
මෙම සිදුවීම්වලින් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල වීමක් සිදු නොවූවත්, ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ ප්‍රතිචාරය ප්‍රමාද වූ බවටත්, එය ප්‍රමාණවත් නොවන බවටත් චෝදනා එල්ල වී තිබෙනවා.

