බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කළ, දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සැකකාර අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ලබන 22 වන දා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න කොළඹ රක්ෂිත බන්ධනාගාර අධිකාරිවරයාට අද (මැයි 15) නියෝග කළේ ය.
මේ අතර, සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට තම බාලවයස්කාර දියණිය බරපතළ ලිංගික අපයෝජනයක් සඳහා චේතාන්විතව ම මුදලට ලබා දුන්නේ යැයි කියන චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වින්දිත දැරියගේ මව ඕනෑ ම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රදීප් දිසානායක අධිකරණයෙන් කළ ඉල්ලීමක් තරයේ ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර මව මේ මස 22 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කළේ ය.
නිට්ටඹුව පොලිසියේ විමර්ශනවල තත්ත්වය
මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (මැයි 15) යළි කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නිට්ටඹුව පොලිසිය කියා සිටියේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන මේ වන විට අවසන්ව ඇති බව ය.
ඒ අනුව, අදාළ විමර්ශනවල උදෘත නීතීපති උපදෙස් සඳහා යවා ඇති බව ද අධිකරණයට දැනුම් දුන් නිට්ටඹුව පොලිසිය මෙම සිද්ධියේ පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද දන්වා සිටියේ ය.
කොළඹ මැගසින් බන්ධනාගාර අධිකාරිවරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක මගින් එවා තිබූ සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් බන්ධනාගාර නිලධාරීන් පවසා සිටියේ, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට භාජනය වෙමින් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ය.
පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස සදහන් කළේ, තම සේවාදායක සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් අද දින ඇප ඉල්ලීමක් සිදු නොකරන බව ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනම් කරන ලෙසට පොලිසියට නියෝග කරන්නැයි ද ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. සියලු පාර්ශ්වවල කරුණු සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න, මෙම නඩුව යළි එළැඹෙන 22 වන දින කැඳවීමට තීන්දු කරමින් පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් එදිනට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරනු ලැබී ය. වින්දිත බාලවයස්කාර දැරියගේ සැකකාර මව ඇප මත මුදාහැරීම ද මෙහිදී ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇය ලබන 22 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය.
පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන සමග ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා විනිෂියා ප්‍රේමරත්න සහ නිට්ටඹුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා වසුන්දරා ගුණරත්න පෙනී සිටියහ. අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර සහ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නඩු කටයුතු මෙහෙයුම් නිලධාරී උපපොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද ද ඊට සහය වූහ.

