ඇමෙරිකානු ඩොලරය අනෙකුත් ලෝක මුදල් ඒකකවලට සාපේක්ෂව ශක්තිමත් වීම හේතුවෙන්, ශ්‍රී ලංකා රුපියල මත යම් පීඩනයක් එල්ල වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
සංචාරකයන්ගේ පැමිණීම තාවකාලිකව අඩුවීම සහ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් අපනයන ආදායම් පහත වැටීම නිසා රට තුළට ගලා එන ඩොලර් ප්‍රමාණය සීමා වී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
එමෙන්ම, ඉන්ධන ආනයන පිරිවැය ඉහළ ගොස් ඇති අතර, පසුගිය මැයි මාසය සඳහා පමණක් ඩොලර් මිලියන 522 ක මුදලක් ඒ වෙනුවෙන් වැය වී තිබෙන බවත්, මේ හේතුවෙන් රුපියලට දැඩි තෙරපුමක් ඇති වී තිබුණ ද, අදාළ අර්බුදයට මුහුණ දීම සඳහා පියවර රැසක් ගැනීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
ඒ යටතේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
ඉන්ධන භාවිතය අවම කිරීම සහ ආනයන වියදම් සීමා කිරීම අත්‍යවශ්‍ය බව සඳහන් කළ ජනාධිපතිවරයා, රටින් පිටතට ගලා යන ඩොලර් ප්‍රමාණය පාලනය කිරීම වෙනුවෙන් ජනතාව ද පුද්ගලික මට්ටමින් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පවසා සිටියා.
මෙම ආර්ථික තත්ත්වය කෙටි කාල සීමාවකට පමණක් බලපවත්වනු ඇති බැවින්, ඊට ශක්තිමත්ව මුහුණ දීමට සියලු දෙනා එක් විය යුතු බවයි ඔහු සඳහන් කළේ.
පෙර පැවති විනාශකාරී ආර්ථික තත්ත්වයට රට නැවත ගමන් කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවට තමන් සහතික වන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

