අද (25) දින නීතිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සචිත්‍ර සේනානායකට එරෙහිව තරග පාවාදීමට අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු කර ඇත.
මෙම අධි චෝදනා භාරදීම හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඩී.පී. මුදුන්කොටුව මහතා ඉදිරියේ සිදු කෙරුණි.
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනතට අනුව, තරග පාවාදීමේ චෝදනා යටතේ සචිත්‍ර සේනානායකට එරෙහිව නීතිපතිවරයා විසින් මෙලෙස අධි චෝදනා ගොනු කරනු ලැබුවා.
අධි චෝදනා භාරදීමෙන් අනතුරුව, විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙස නියම කළ අධිකරණය, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හැරීමට නියෝග කළා.
මෙම ඇපකරුවන් විත්තිකරුගේ ළඟම ඥාතීන් දෙදෙනෙකු විය යුතු බවටද අධිකරණය නියම කළා.
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරග පාවාදීමට අනුබල දීමේ චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු පවරන ලද පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.
මෙම අධි චෝදනාවට අනුව, 2020 නොවැම්බර් 21 සහ 22 යන දිනවල මුරුසී දිවයිනේදී හා හම්බන්තොටදී පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කළ හැකි අයුරින් තරගාවලියට සහභාගි වූ කලම්බු කින්ග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූ තරිඳු රත්නායකට, තවත් පාර්ශ්වයක් විසින් ලබා දුන් තරග පාවාදීමේ යෝජනාවක් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් නොදෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටීම, ඔහුව පෙළඹවීම සහ ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම ඇතුළු දූෂණයට අනුබල දීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට අධි චෝදනා එල්ල වී තිබෙනවා.
එමෙන්ම, මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති “සායිඩි” නමැති පුද්ගලයෙකු තරිඳු රත්නායක ඇමතූ බවට සඳහන් “already spoke to the management. You will get games, and you have to give something for them too ok” යන දැනුම්දීම, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයට වාර්තා කිරීම වැළැක්වීමට කටයුතු කර ඇති බවටද අධි චෝදනාවේ සඳහන් වෙනවා.
මේ අනුව, 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 5 (ඇ) වගන්තිය යටතේ “ක්‍රීඩාවල දූෂණය” යන වරද සිදු කර ඇති බවත්, එම පනතේ 09 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇති බවත් අධි චෝදනාවේ දක්වා තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව, එම ඒකකයේ උපදෙස් මත මෙරට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශය විසින් සචිත්‍ර සේනානායක අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරියා.
අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ මෙම සිද්ධියට අදාළව ලැබුණු වෝහාරික සහ අනෙකුත් සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් පසුව සචිත්‍ර සේනානායකට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ මෙම අධි චෝදනා ගොනු කරනු ලැබුවා.
සචිත්‍ර සේනානායක වෙනුවෙන් නීතිඥ අජිත් පතිරණ ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ අකිලා දල්පදාදු අධිකරණයේ පෙනී සිටියා.
මෙම නඩුව නැවත ලබන නොවැම්බර් 27 දින කැඳවීමට නියමිතයි.