30.6 C
Colombo
Friday, June 5, 2026

ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් දැඩි තීරණයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ගනු ලබන ඉදිරි හමුදා ක්‍රියාමාර්ග අත්හිටුවීම සඳහා සකස් කළ යෝජනාවක් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (US House of Representatives)  විසින් සම්මත කර තිබේ.

මෙය ජනාධිපතිවරයාගේ යුද ප්‍රතිපත්තියට එල්ල වූ දැඩි දේශපාලන බලපෑමක් ලෙස සැලකේ.

පසුගිය පෙබරවාරි මාසයේදී ආරම්භ වූ මෙම ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනාධිකාරිය වෙත තම අකමැත්ත ප්‍රකාශ කරමින්, රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ද විපක්ෂයේ ඩිමොක්‍රටික් පක්ෂය සමඟ එක්විය.

ඒ අනුව මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 215ක් සහ විපක්ෂව ඡන්ද 208ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.

කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන යුද බලතල පාලනය කිරීම සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ගත් සිව්වන උත්සාහය මෙයයි.

කෙසේ වෙතත්, මෙම යෝජනාව නීතියක් බවට පත්වීමට නම් රිපබ්ලිකන් පක්ෂයේ බහුතරය සහිත අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේද අනුමැතිය හිමිවිය යුතුය.

සෙනෙට් මණ්ඩලයෙන් මෙය සම්මත වුවද, ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම නැවැත්වීමට එය ප්‍රමාණවත් නොවන බව සඳහන් වේ.

ඒ ජනාධිපති ට්‍රම්ප්ට මෙම යෝජනාව නිෂේධනය කිරීමේ බලය පවතින බැවිනි.

ජනාධිපතිවරයාගේ නිෂේධ බලය අභිබවා යාමට නම් මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම තුනෙන් දෙකක බහුතර ඡන්දයක් අවශ්‍ය වේ. සෙනෙට් මණ්ඩලය මීට පෙර අවස්ථා හතකදී අසාර්ථක වීමෙන් පසු, පසුගිය මැයි මාසයේදී මෙවැනිම යෝජනාවක් ඉදිරියට ගෙන ආ නමුත් එය තවමත් පූර්ණ ඡන්ද විමසීමකට ලක් කර නොමැත.

මේ අතර, දෙපාර්ශවය අතර සටන් විරාම ගිවිසුමක් පවතින නමුත්, පසුගිය දිනවලදී අමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කර ඇති අතර ඉරානය ද ඊට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාවේ මිත්‍ර රටක් වන කුවේටයට ප්‍රහාර එල්ල කර ඇත.

කෙසේ වෙතත්, ඡන්ද විමසීමට පෙර ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් ඇමතූ ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා “ඉතා හොඳින්” සිදුවෙමින් පවතින බවත්, මෙම සති අන්තයේදී එය අවසන් විය හැකි බවත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,900SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles