30.6 C
Colombo
Friday, June 5, 2026

SLNS සමුද්‍රවිජය නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා සේවයට

ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ගැඹුරු මුහුදු අවේක්ෂණ නෞකාව ‘සමුද්‍රවිජය’ නමින් අධිකාරියට පත් කිරීම සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහිර පර්යන්ත පරිශ්‍රයේදී පැවැත්විණි.

එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් 2025 දෙසැම්බර් 02 වන දින මෙම නෞකාව ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් භාර දෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතා අනුව නවීකරණයෙන් අනතුරුව 2026 පෙබරවාරි මස 20 වන දින එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර්හි එක්සත් ජනපද වෙරළාරක්ෂක නෞකා අංගණයේ සිට කොළඹ බලා ගමන් ආරම්භ කෙරිණි.

මෙම නෞකාව නාවික හමුදාවේ මෙහෙයුම් හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි. සමුද්‍රීය නිරීක්ෂණ කටයුතු, සෙවීමේ හා ගලවා ගැනීමේ මෙහෙයුම්, ධීවර සම්පත් ආරක්ෂාව, පාරිසරික නිරීක්ෂණ සහ ජාත්‍යන්තර සමුද්‍රීය නීති හා සම්මුතීන් බලාත්මක කිරීම සඳහා වැදගත් දායකත්වයක් මෙම නෞකාව මගින් ලබා දෙනු ඇති අතර, විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව සහ කලාපය මුහුණ දෙන බරපතළ අභියෝගයක් වන මත්ද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් ජාත්‍යන්තර සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා අතිශයින් වැදගත් සම්පතක් වනු ඇත.

අභිනව නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

අනතුරුව නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කළ ජනාධිපතිවරයා නෞකාවේ නිරික්ෂණ චාරිකාවකද නිරත වූ අතර, නාවික හමුදාපතිවරයා විසින් නෞකාවේ මෙහෙයුම් සූදානම, සැකසීම කි‍්‍රයාකාරිත්වය පිළිබඳව පිරිස දැනුවත් කරන ලදී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නෞකාවේ විශේෂ අමුත්තන්ගේ සමරු ග්‍රන්ථයේ සටහනක්ද තැබූ අතර නෞකාවේ අනුරුව සහිත සමරු තිළිණයක්ද ජනාධිපතිවරයා වෙනුවෙන් පිළිගැන්විණි.

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, ආර‍ක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, එක්සත් ජනපද වැඩබලන තානාපතිනි Jayne Howell, ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී සහ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් Matthew House,ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ද, හිටපු නාවික හමුදාපතිවරු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාව එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,900SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles