අද (03) දින ඌරගස් මංහන්දිය ප්‍රදේශයෙන් කෙහෙල්බද්දර පද්මෙට අයත් යැයි කියන තවත් ගිනිඅවියක් සොයා ගෙන ඇත.
ඌරගස්මංහන්දිය පොලිස් වසමේ අතුරු මාර්ගයක සඟවා තිබියදී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් හා පතරොම් ගැබක් සොයා ගත් බව පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ අතර කෙහෙල්බද්දර පද්මේගේ මව විසින් සිය පුත්‍රයාට එරෙහිව නිකුත් කරන ලද රැඳවුම් නියෝගය නීතිවිරෝධී බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
ඒ අනුව ඇය විසින් හබයාස් කෝපස් සහ රිට් අධිකරණ බලය මගින් නියෝගයක් ඉල්ලා මෙම රිට් පෙත්සම ගොනු කර තිබේ.
පෙත්සමේදී ඇය විසින් නඩුව අවසාන තීරණය ගන්නා තෙක් රැඳවියා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවෙන් පිටත ඕනෑම ස්ථානයකට මාරු කිරීම වැළැක්වීම සඳහා අතුරු සහනයක් ඉල්ලා ඇත.
ඒ අනුව මෙම කාරණය විභාගයට ගත් විට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට සහතික වී ඇත්තේ නඩුවේ කරුණු පරීක්ෂා කර තහවුරු කරන තුරු රැඳවියා වෙනත් ස්ථානයකට මාරු නොකරන බවය.
රැඳවියා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රඳවා සිටින අතරතුර අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන සියලුම පරීක්ෂණ කටයුතු පවත්වන බවත් නීතීඥවරයා අධිකරණය හමුවේ පැවසීය.
මෙම පෙත්සම චමීර හපුතන්ත්‍රී මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න, සෙනාල් මතුගන, නාලක සමරකෝන්, රජින්ද්‍ර කන්දෙගෙදර යන මහත්වරු පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටින අතර නඩුව එළැඹෙන 23 වැනිදා කැඳවීමටද නියමිතය.