කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා දරුණු අකුණු අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව, මධ්‍යම, උතුරු-මැද, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට දරුණු අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
අකුණු හානි අවමකර ගැනීම සඳහා ප්‍රමාණවත් පූර්වාරක්ෂාවන් ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ගිගුරුම් සහිත වැසි පවතින විට ගෘහස්ථව රැඳී සිටින ලෙසත්, වී කෙත්, තේ වතු සහ විවෘත ජල කඳන් වැනි විවෘත ස්ථානවල රැඳී නොසිටින ලෙසත් දැනුම් දී ඇත.
එමෙන්ම, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී වයර සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කර ඇති උපකරණ භාවිතයෙන් වළකින ලෙසට ද මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.
හදිසි ආධාර අවශ්‍යතා සඳහා දේශීය ආපදා කළමනාකරණ බලධාරීන් සම්බන්ධ කර ගන්නා ලෙසද දැනුම් දෙයි.

