ඇල්ලේ අනතුරට ලක් වී ඇත්තේ මගී ප්‍රවාහනය සඳහා බලපත්‍ර සහිත පෞද්ගලික බස් රථයක් නොව වර්තමානයේ නයිට් ක්ලබ් බස් නමින් හඳුන්වන, විනෝද ගමන් සඳහා භාවිතා කරන බස් රථයක් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ඇතුළතින් සහ පිටතින් අධික ලෙස විදුලි රටා සහිතව විනෝදාස්වාදය සඳහා ඩී.ජේ. සංගීතය ද එක් කරමින් නිර්මාණය කර ඇති මෙම බස් රථ කිසිදු ආකාරයකින් නියාමනය නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.
“මීට පෙරත් මේ වගේම පාසල් දරුවන් රැගෙන ගිය බස් රථයක් පසුගිය රජය කාලේ අනතුරට ලක් වුණා. ඒ බස් රථයත් පෙරළුණා, වාසනාවකට එහි ගමන් කළ ළමයි එදා බේරුණා. අපි ඒ වෙලාවේ මේ නයිට් ක්ලබ් බස්වලට සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. මේ බස් රථවලට අවසර ලබා දුන්නේ රිමාන්ඩ් කරපු හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා. මේක ඉතාම බරපතල තත්ත්වයක්. මේ බස් රථවලට රජයේ කිසිදු නියාමනයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.”
නයිට් ක්ලබ් බස්වල තිබෙන විනෝදය මරුවා කැඳවන බව ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කළා.