වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් 22 වැනිදාට කැඳවීමට කොළඹ මහාධිකරණය අද (17) නියෝග කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී, ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද අධිකරණය හමුවේ පෙනී සිටියා.
එහිදී, විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා නඩුවට අදාළ ලේඛන අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය බව පවසමින්, ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
ඒ අනුව, නඩුවේ සාක්ෂි විභාගය ලබන ඔක්තෝබර් 22 වැනිදාට කැඳවීමට අධිකරණය නියම කළ අතර, අද දින අධිකරණය හමුවේ පෙනී සිටි සාක්ෂිකරුවන්ට එදින පෙනී සිටින ලෙසද විනිසුරුවරිය අවවාද කර ඇති බවයි සඳහන් වන්නේ.
2010 සිට 2014 දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටි සමයේදී රුපියල් මිලියන 75කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්, අල්ලස් කොමිසම විසින් පසුගිය යහපාලන රජය සමයේ මෙම නඩුව ඉදිරිපත් කර තිබුණා.