බස්නාහිර පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්ත මාණ්‌ඩලික නිලධාරීන්ගේ ක්ෂේත්‍ර රාජකාරි අයිතියට බාධා පමුණුවන උපදෙස් මාලාවක් පමුණුවාලීමත් සමග පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අධීක්ෂණ, හදිසි විමර්ශන හා ඇගයීම් අකර්මන්‍ය වී ඇතැයි වාර්තා වේ.
අමාත්‍යාංශ ලේකම් වර්නන් පෙරේරා මහතා හා අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මහත්මිය විසින් අදාළ උපදෙස් මාලාව නිකුත් කර ඇත.
එම උපදෙස් වලට අනුව දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂවරුන්ගේ සිට කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂවරු දක්වා වූ සියලු නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා බැහැර විය යුත්තේ ලේකම්වරයාගේ හා අධ්‍යක්‍ෂවරියගේ පූර්ව අනුමැතියට යටත්වය .
මෙය ආයතන සංග්‍රහයට පටහැනි උපදෙස් මාලාවක් බවට ගුරු විදුහල්පති සංගම් චෝදනා කර සිටී.
එම සංග්‍රහයට අනුව රාජ්‍ය සේවයේ මාණ්‌ඩලීක නිලධාරීන්ට බැහැරවීමේ ලේඛනයේ අදාළ ක්ෂේත්‍ර රාජකාරිය කවරක් ද යන වග සඳහන් කර බැහැර යා හැක.
එලෙස විධිවිධාන සලස්වා තිබෙන්නේ ඇතැම් ක්ෂේත්‍ර රාජකාරි යනු ආපදා වැනි හදිසි අවස්ථා විය හැකි බැවිනි.
එමෙන්ම ඇතැම් ක්ෂේත්‍ර රාජකාරි යනු හදිසි සෝදිසි පරීක්ෂණ වන බැවින් අදාළ රාජකාරියේ නිරත නිලධාරියා හෝ කණ්ඩායම විෂයගත රාජකාරියට ප්‍රවේශවීම හා බැදුනු රහස්‍යභාවය ප්‍රශ්නගත උපදෙස් මාලාව තුලින් බිද වැටෙන බවටද ගුරු විදුහල්පති සංගම් පෙන්වා දෙයි.
එමෙන්ම ක්ෂේත්‍ර රාජකාරි සඳහා බැහැර වීමට අවසර ගතයුතුව තිබෙන්නේ ලිඛිතවම වන බැවින් ක්ෂණික මැදිහත්වීම් ලෙස ගැනෙන ක්ෂේත්‍ර රාජකාරි අහෝසි වී යැමට ඉඩ තිබේ.
මේ අතර බස්නාහිර පළාතේ අධ්‍යාපනයට සම්බන්ධ ඉහළම නිලයන් දෙකක් විසින් හිඹුටාන එදිරිවීර සරත්චන්ද්‍ර විද්‍යාලයේ විදුහල්පති නිල නිවස තම විවේකය පිණිස යොදා ගෙන ඇති බවට එම පාසලට සම්බන්ධ ප්‍රජාව චෝදනා කර සිටි.ඔවුන්ට අනුව විදුහල්පති තනතුර පුරප්පාඩු වීමත් සමග අදාළ නිල නිවස අපහරණය වෙමින් තිබෙන අතර කොතෙක් ඉල්ලීම් කලද විදුහල්පති පුරප්පාඩුව පිරවීම බලධාරීන් විසින් කල් දමමින් සිටි.

