හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණි ප්‍රථම ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) නෞකාව වන ‘ANDOVER’ නෞකාව ඉකුත් අප්‍රේල් 4 වනදා සිය ගොඩබෑම් කටයුතු සාර්ථකව අවසන් කළ බව හම්බන්තොට වරාය අධිකාරිය පවසනවා.
ආර්ජන්ටිනාවේ සිට පැමිණි මෙම නෞකාව මඟින් ලාෆ්ස් ගෑස් (Laugfs Gas) සමාගම වෙත ඇණවුම් කර තිබූ ගෑස් මෙට්‍රික් ටොන් 7,000කට ආසන්න ප්‍රමාණයක් මෙහිදී ගොඩබෑ බව එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
මෙම ගෑස් තොගය මෙරට ගෘහස්ථ පාරිභෝගික පවුල් 570,000කට පමණ සැපයීමට ප්‍රමාණවත් වනු ඇතැයි ගණන් බලා ඇතැයි ද වරාය අධිකාරිය සඳහන් කරනවා.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව හම්බන්තොට වරාය මඟින් මෙහෙයුම් සිදු කළ පළමු ගෑස් තොගය මෙය වන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ ගෘහස්ථ බලශක්ති සැපයුම් දාමය ශක්තිමත් කිරීමට වරාය ලබා දෙන දායකත්වය නැවත වරක් තහවුරු කර ඇතැයි ද වරාය අධිකාරිය සඳහන් කරනවා.
වරායේ සම්මත මෙහෙයුම් කාර්යක්ෂමතාව මත මෙම ගෑස් තොගය නියමිත වේලාවට දේශීය බෙදාහැරීමේ ජාලයට එක් කිරීමට පියවර ගෙන තිබීම ද විශේෂත්වයක් බවයි වරාය අධිකාරිය සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ENS දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී යොන්ග්ෂුවාං ලී (Yongzhuang Li) සඳහන් කර තිබුණේ ‘ANDOVER’ නෞකාවේ පැමිණීම මඟින් උපායමාර්ගික භාණ්ඩ මෙහෙයුම් සඳහා වරාය සතු සූදානම මනාව පිළිඹිබු වන බවයි.
ජාතික ඉල්ලුම සපුරාලමින් අත්‍යවශ්‍ය බලශක්ති සැපයුම් කාර්යක්ෂමව හැසිරවීමට වරායට පවතින හැකියාව මෙයින් ප්‍රදර්ශනය වූ බවත්, ප්‍රධාන නැගෙනහිර-බටහිර නාවික මාර්ගයට නාවික සැතපුම් 10ක් වැනි කෙටි දුරකින් පිහිටා තිබීම නිසා සැපයුම් දාමයේ අඛණ්ඩතාව සහතික කිරීමට වරාය සුදුසු මට්ටමක පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

