25 C
Colombo
Friday, June 5, 2026

හිටපු ජනපති මහින්දගේ මැයි දින පණිවිඩය

ජනතාව අතරම ගත කළ මාගේ ජීවිත කාලය තුළ කම්කරු ජනතාව වෙනුවෙන් මෙහෙවරක් සිදු කළ බව මම විශ්වාස කරමි. ඉතිහාසය තුළ සටන් කරමින් තම දහදියෙන් සහ රුධිරයෙන් වර්තමානයත්, අනාගතයත් නිර්මාණය කළ එම කම්කරු ප්‍රජාවට මම හිස නමා ආචාර කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනපති මහින්දගේ මැදි දින පණිඩුඩය, 

සැමදා මා සමඟ සිටියේ මේ රටේ අහිංසක කම්කරු ජනතාවය. වැඩි වශයෙන් මහින්ද රාජපක්ෂට ආදරය කරන්නේ ද විශාල හදවත් හිමි එම මිනිසුන්මය. පාද යාත්‍රා, මිනිස් දම් වැල් වැනි ජන බලවේග අතරතුර මා සමඟ රැඳී සිටියේ ද වැඩ කරන දෑත් සහ සටන් කරන හදවත් තිබූ පීඩිත ජනතාවය. මේ රට ගොඩ නැගුවේ එම කම්කරු ජනතාවය. මම ද නාමල් ද අද දක්වා ම පැලඳ සිටින කුරහන් සාටකයෙන් නියෝජනය වන්නේ ගිරුවාපත්තුවේ ගොවි ජනතාවගේ සිට මහ පොළොව සමඟ පොර බදින, දහදිය හෙලන සියලු කම්කරු ප්‍රජාවය. එම ශ්‍රමයට ගරු කළ යුතු ය. වීදි සටන්, සංවිධිත කම්කරු සටන්, කැප කිරීම්, ජීවිත පූජා කිරීම් සහ ඒ තුළින් දිනා ගත් ජයග්‍රහණ වැනි අතීත කම්කරු මතක සටහන් ගෞරවයෙන් අනුස්මරණය කරමින් තම ශ්‍රමයෙන් ලෝකය ගොඩනගන කම්කරු ජනතාවට මෙම කම්කරු දිනයේ දී ප්‍රථමයෙන් ම මම මගේ ආචාරය පුද කරමි. වෘත්තීමය වෙනසකට භාජනය නොකර සෑම තැනැත්තෙකුගේම ‍ශ්‍රමයට අප ගරු කළ යුතු බව මම විශ්වාස කරමි.

1886 වසරේ මැයි මස 01 වන දින ඇමරිකාවේ චිකාගෝ නගරයේ පැය අටක වැඩ දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා පැවැති අභියෝගාත්මක වැඩ වර්ජනය මැයි දින ඉතිහාසයේ ආරම්භයයි. මෙරට ඉතිහාසය පුරාම කම්කරුවන් අප සැමට දිනා දුන් අයිතීන් බොහෝමයකි. 1893 මුද්‍රණ කම්කරු වැඩ වර්ජනය, 1906 අගෝස්තු මස පන්දහසක පමණ කරත්තකරුවන් දියත් කරන ලද මහා වැඩ වර්ජනය, තේ දල්ලේ ලේ ගෑවුණු සටන ලෙස හැඳින්වෙන 1940 ජනවාරි මස වතු කම්කරුවකු බිලි ගත් මුල්ඔය වතු කම්කරු සටන වැනි අවස්ථා මෙරට කම්කරු සටන් ඉතිහාසයේ සුවිශේෂ සංධිස්ථාන ලෙස හැඳින්විය හැක. ශක්තිමත්ව වර්ධනව වන මධ්‍යම පන්තියක් නොමැතිව, අප රටේ සවිමත්ව වර්ධනය වන ආර්ථිකයක් තිබිය ‌නොහැක. ඔබේ දරුවාට හොඳ ජීවිතක් ලබා දෙන අධ්‍යාපනයක්, හොඳ වැටුපක් ගෙවන හොඳ රැකියාවක්, ගුණාත්මක සෞඛ්‍ය සේවයක් වැනි බොහෝ දේ සුරක්ෂිත කිරීමට උපකාරී වූයේ මෙම කම්කරු සටන්ය. සැබෑ කම්කරුවා යනු ස්වකීය ඉරණමෙහි නිර්මාණකරුවා මෙන්ම රටක් නිර්මාණය කරනු ලබන සටන්කරුවා බව සිහි තබා ගත යුතුය.

අප රටෙහි ප්‍රථම මැයි දිනය සැමරීම ආරම්භවූයේ 1927 වර්ෂයේ ලාංකීය කම්කරු ව්‍යාපාරයේ පියා ලෙස සැලකෙන ඒ. ඊ. ගුණසිංහ මහතාගේ මූලිකත්වයෙනි. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ‌‌තම අයිතීන් සහ සමානාත්මතාවය වෙනුවෙන් කැපවී සැබෑ පන්තිමය විඥානයකින් යුතුව කටයුතු කළ සියලු ම සටන් නායකයින් හා නායිකාවන් මම මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරමි. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, ධීවර යන බලවේගයන්ට අයත් මෙරට සියලුම වැඩ කරන ප්‍රජාව අප මව්බිමේ සවිමත් පදනමයි.

ජනතාව අතරම ගත කළ මාගේ ජීවිත කාලය තුළ කම්කරු ජනතාව වෙනුවෙන් මෙහෙවරක් සිදු කළ බව මම විශ්වාස කරමි. ඉතිහාසය තුළ සටන් කරමින් තම දහදියෙන් සහ රුධිරයෙන් වර්තමානයත්, අනාගතයත් නිර්මාණය කළ එම කම්කරු ප්‍රජාවට මම හිස නමා ආචාර කරමි.

ඔබ සැමට ජය..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles