තමිල්නාඩු මහ ඇමති ජෝෂප් විජේ ප්‍රමුඛ ප්‍රාන්ත රජයේ අමාත්‍ය මණ්ඩලය තවදුරටත් පුළුල් කරමින් නව අමාත්‍යවරුන් විසිතුන් දෙනෙකු අද(21) දිවුරුම් දී තිබේ.
ඒ අනුව විජේගේ ටී.වී.කේ. පක්ෂයේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු සහ සන්ධානගත කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මෙලෙස නව අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් බව NDTV වෙබ් අඩවිය වාර්තා කර ඇත.
මීට පෙර මැයි 10 වැනිදා මහඇමතිවරයා ඇතුළු අමාත්‍යවරුන් 09 දෙනෙකු දිවුරුම් දුන් අතර මෙම නව පත්වීම් සමඟ තමිල්නාඩු අමාත්‍ය මණ්ඩලයේ සමස්ත සාමාජික සංඛ්‍යාව 32 දක්වා ඉහළ යයි.
නව රජයට සහාය දක්වන ප්‍රධාන පෙළේ සන්ධානගත පක්ෂ දෙකක් වන අයි.යූ.එම්.එල්. (IUML) සහ වී.සී.කේ. (VCK) පක්ෂ මේ දක්වා අමාත්‍ය ධුර සඳහා තම නියෝජිතයන් නම් කර නොමැති බැවින් ඔවුන් අද දින දිවුරුම් දීමෙන් වැළකී සිටි බව ද වාර්තාවේ.
කෙසේ වෙතත් එම පක්ෂ දෙක සඳහා ද අමාත්‍ය ධුර වෙන්කර තබා ඇති අතර ඉදිරි කාලයේදී ඔවුන් රජයේ අමාත්‍ය මණ්ඩලයට එක්කර ගැනීමට නියමිතව පවති.
වත්මන් තමිල්නාඩු ප්‍රාන්ත රජයට පිටතින් සහාය දක්වන සෙසු සන්ධානගත පක්ෂවලට ද විධිමත් ලෙස කැබිනට් මණ්ඩලයට සම්බන්ධ වන ලෙස මහ ඇමති විජේ දිගින් දිගටම ආරාධනා කර සිටින බව තමිල්නාඩු ප්‍රාන්ත අමාත්‍ය ආදව් අර්ජුනා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇතැයි ද සදහන් වේ.

