ලොව පහළ වූ අසමසම ශාස්තෘවරයාණන් වහන්සේගේ ඉපදීම , බුදුවීම හා පිරිනිවන්පෑම සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය අදයි.
තිලෝගුරු බුදුන් වහන්සේ ලොවට දේශනා කළ ධර්මයේ පදනම වන්නේ ප්‍රඥාව හා කරුණාවයි.
සිදුහත් කුමරුගේ උපත , සියලු කෙලෙස් නසා උතුම් වූ සම්බුද්ධත්වයට පත්වීම හා ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිණිවන්පෑම සිදුවූයේ අද වැනි උතුම් වෙසක් පුන් පොහෝ දිනකයි.
අප්‍රමාණ වූ සංසාර ගමනේ අවසන් භවයේදී සිද්ධාර්ථ නමින් ලුම්බිණි සල් උයනේදී උන් වහන්සේ උපත ලැබුවා.
බෝසතාණන්වහන්සේ සම්මා සම්බුද්ධත්වය පතා පළමු වරට නියත විවරණ ලැබුවේද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් වසර හයක් පුරා දුෂ්කර ක්‍රියා කරමින් බුද්ධත්වය උදෙසා උන්වහන්සේ අපමණ වෙහෙසක් දැරුවා.
බුද්ධගයාවේ ඇසතු බෝරුක මුල දැඩි අධිෂ්ඨානයෙන් වැඩ සිටි බෝසතාණන් දසමාර සේනාව පරදවා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිමින් ලොව්තුරා බුද්ධත්වයට පත්වුණා.
ලෝ වැසියනට සසරේ අඳුරු සෙවණැලි දුරු කරවන සදහම් මාවත පෙන්වා දුන් උන්වහන්සේ කුසිනාරානුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේදී පරිනිර්වාණය කරා එළඹියේ ද අද වැනි වෙසක් පුන් පොහෝදිනකදීයි.
බුද්ධත්වයෙන් අට වන වසරේ වෙසක් පොහෝ දිනක උන්වහන්සේ ලක්දිව කැලණි පුරයට වැඩම කළා.
රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑයේ වැඩ ආරම්භ කිරීම සහ එහි බිම සකස් කිරීම යන කරුණු දෙකම වෙසක් පොහෝ දිනයේ සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්.

