ඌව වෙල්ලස්ස ජනතාවට වඩාත් ගුණාත්මක සහ උසස් සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 04 වනදා පෙරවරුවේ ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
මෙම මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 857කට අධික මුදලක් දැනට වැය කර ඇත. මෙම වාට්ටු සංකීර්ණයේ බිම් මහල සහ පළමු මහල මාතෘ වාට්ටු වලින් සමන්විත වන අතර දෙවන සහ තෙවන මහල්වල කාන්තා ශල්‍ය වාට්ටු ස්ථාපිත කර ඇත.සිව්වන මහලේ අති නවීන වෛද්‍ය උපකරණවලින් සමන්විත ශල්‍යාගාර 4ක් ද ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
සමස්ත ව්‍යාපෘතිය සදහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 2900කට අධික මුදලක් වැය කිරීමට අපේක්ෂිතය. 1876 වර්ෂයේ දී මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආරම්භ වූ මෙම රෝහල 1990 වර්ෂයේ දී මූලික රෝහලක් ලෙස ද 2005 වර්ෂයේ දී දිස්ත්‍රික් මහ රෝහල ලෙස ද ශ්‍රේණිගත කරනු ලැබුවත් සේවාවන් නියමිත පරිදි පවත්වා ගෙන යාම සඳහා ගොඩනැගිලි පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා ජනතාවටත් වෛද්‍යවරු ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් දීර්ඝ කාලයක් දැඩි දුෂ්කරතා මැද කටයුතු කිරීමට සිදු විය.
මෙම තත්වය වාර්තා වීමෙන් අනතුරුව 2019 වර්ෂයේ දී පමණ ඉදිකිරීම් ආරම්භ කර අතරමඟ නවතා දමා තිබු මෙම ගොඩනැගිලි ව්‍යාපෘතිය ප්‍රමුඛ සහ අත්‍යවශ්‍ය කාර්යක් ලෙස සලකා කඩිනමින් සම්පුර්ණ කිරීමට සෞඛ්‍ය හා ජනමාධය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා උපදෙස් දෙනු ලැබීය. එහි ප්‍රථිපලයක් ලෙස මෙම පස්මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීරණය සම්පුර්ණ කර ඇති අතර නුදුරු කාලය තුළ දීම මෙම ගොඩනැගිල්ලේ සිව්වන මහලේ නවීන ශල්‍යාගාර හතර ස්ථාපිත කිරීමට ද නියමිතය.

