වාහන අලෙවිය අඩුවී ඇතැයි වාහන ආනයනකරුවෝ කියා සිටිති. රජය විසින් වාහන ආනයනය සඳහා ඉකුත් ජනවාරි මස 28 වැනිදා අවසරය ලබාදුන්නේය.
වාහන ආනයනය සඳහා අවසරය ලබාදීමෙන් පසුව මුල් මාස තුන හතර තුළදී දිනකට වාහන දහයක් පමණ අලෙවි කෙරුණද, මේ වනවිට අලෙවි වන්නේ සතියකට වාහන දහයක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් බවද වාහන ආනයනකරුවකු කියා සිටියේය.
අලුත් වාහනයක් මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් සිටි බොහෝ දෙනකු මුල් මාස කීපයේදී වාහන මිලදී ගැනීම නිසා මේ වනවිට වාහන ඉල්ලුම අඩුවීමට බලපා තිබෙන බවද වාහන ආනයනකරුවෝ පවසති.
වාහන අලෙවිය අඩුවී ඇතිවා සේම වාහනවල මිල ගණන්වලද යම් අඩුවීමක් සිදුවී ඇතැයිද වාහන ආනයනකරුවෝ කියා සිටිති. ජපානයේ වාහන වෙන්දේසිවල වාහන මිල ගණන් අඩුවීම ඊට බලපා ඇතැයිද ඔවුහු සඳහන් කරති.
වෙළෙඳපොළේ රුපියල් ලක්ෂ 100 ක වාහනයක මිල රුපියල් ලක්ෂ පහකින් පමණ අඩුවී ඇතැයිද, රුපියල් ලක්ෂ 200 ක වාහනයක මිල රුපියල් ලක්ෂ 10 ත් 15 ත් අතර මිලකින්ද අඩුවී ඇතැයිද වාහන අලෙවිකරුවෝ පවසති.
ඉකුත් අගෝස්තු මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 249 ක වාහන ආනයනය කර ඇති අතර, ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළදී එක්සත් ජනපද ඩොලර් මිලියන 918 ක වාහන ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
අලුත් වාහන වෙළෙඳපොළට පැමිණීමත් සමග භාවිත කරන ලද වාහන සඳහා ඇති ඉල්ලුමද විශාල ලෙස පහත වැටී ඇතැයිද වාහන ආනයනකරුවෝ කියා සිටිති.