පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ‘ වියත්පුර’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමේදී ලබා දී ඇති සහන ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිවාස අමාත්‍යවරයා ගෙන ආ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
2022-05-09 දින රට තුළ ඇති වූ කලබලකාරී තත්ත්වය මත නිවාස අහිමි වූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරන ලද වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ඒකක 101 ක් කුලී පදනම මත එක් වසරක කාලයක් සඳහා ලබා දීමට 2022-07-04 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්විමේ දී අනුමැතිය ලබා දී තිබෙනවා.
ඉන් අනතුරුව, එම නිවාස සහනදායි ක්‍රම වේදයක් යටතේ මිල දී ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන ලෙස එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව, රුපියල් මිලියන 15.5 ක අවම වටිනාකමකට සහ රුපියල් මිලියන 22 ක උපරිම වටිනාකමකට සාමාන්‍ය ජනතාව වෙත විකුණනු ලබන එම නිවාස ඒකකයක්, අවම වටිනාකම රුපියල් මිලියන 13.34 ක් ලෙස සහ උපරිම වටිනාකම රුපියල් මිලියන 18.21 ක් ලෙස අඩු කර සහනදායී ක්‍රමවේදය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දීමටත්, විකුණුම් මිලෙන් 25% මුදලක් පළමුව අය කරගෙන ඉතිරි මුදල වසර 15 ක කාලයක් තුළ වාර්ෂිකව 10%ක පොළී අනුපාතයක් යටතේ ඔවුන්ගෙන් අය කර ගැනීමටත් 2024-07-15 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.
එම ක්‍රමවේදය යටතේ නිවාස මිල දී ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනෙකු 2024-12-31 දින වන විට විකුණුම් මිලෙන් 25%ක මුදලක් තැන්පත් කර තිබුණා.
එහෙත්, මෙම සහනදායී ක්‍රමවේදය හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 92. 126 ක පමණ පාඩුවක් විඳීමට සිදු වී ඇති අතර, දරන ලද පිරිවැය ආවරණය කර ගැනීමට නොහැකි වී තිබෙනවා.
එබැවින්, ඉහත පරිදි අනුමත කර ඇති සහනදායී ක්‍රම වේදය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමටත්, අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනා එකඟ වන්නේ නම් සාමාන්‍ය මහජනතාවට එම නිවාස ලබා ගැනීම සඳහා වන ක්‍රමවේදය සහ එම මිල ගණන් යටතේ ඔවුන්ට ද නිවාස මිල දී ගැනීමට අවස්ථාව ලබා දීමටත් නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.