2025.08.07 වන දින බොරැල්ල පොලිස් වසමේ සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳව ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ වැටලීම් ඒකකය මඟින් විමර්ශන සිදු කෙරූ අතර ඊයේ (12) දහවල් කාලයේ එම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දමන පොලිස් වසමේදී මෙම අපරාධයේ වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
වයස අවුරුදු 34ක් වන දමන,අම්පාරේ පදිංචි සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 710ක් සහ යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මීට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ රාජකාරි කර 2015 වර්ෂයේ යුද හමුදාවෙන් පලාගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
දමන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර 2025.08.24 වන දින බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේදී ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට අධාර අනුබල දුන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
ඒ, බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනවලට අනුවය.
ඊයේ (12) උදෑසන කාලයේ එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පිළියන්දල පොලිස් වසමේ පැලැන්වත්ත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 35ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර 2025.09.06 වන දින මරදාන පොලිස් වසමේ කෝවිල්වත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි.
මෙම අපරාධයට අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත ඊයේ (12) උදෑසන කාලයේ එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කෙසෙල්වත්ත පොලිස් වසමේ ශාන්ත සෙබස්තියන් මාවතේදී මෙම අපරාධය සිදු කිරීමට ආධාර අනුබලදීම, අපරාධයට රැකවරණයදීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 46 ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.