30.6 C
Colombo
Friday, June 5, 2026

‘සෙනෙහසේ කැදැල්ල ලියාපදිංචි නොකළ එකක්’ – ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි

ඊයේ (ජූනි 03) පස්වරුවේ හදිසි ගින්නක් හේතුවෙන් මහත් ආන්දෝලනයට පත් අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි ‘මව්පිය සෙවණ සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන‍ය කිසිදු රාජ්‍ය ආයතනයක ලියාපදිංචි කර නොමැති බවට තොරතුරු අනාවරණයව තිබේ.

බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මේ බව සඳහන් කර තිබිණ.

2024 වසරේ සිට පවත්වාගෙන ගොස් ඇති මෙම වැඩිහිටි නිවාසයේ සේවය සඳහා හිමිකරු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු පමණක් සිට ඇති බවත්, එහි මානසික ආබාධ තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් 62 දෙනෙකු සහ වැඩිහිටි පුද්ගලයින් 08 දෙනෙකු රැඳී සිට ඇති බවත් ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාල වාර්තාවේ සඳහන් වේ.

ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක චතුර මිහිදුම් බීබීසී සිංහල වෙත ලබාදී ඇති වාර්තාවට අනුව වැඩිහිටියන්ට නේවාසික සත්කාරය සපයනු ලබන ආයතනයක් පිහිටුවා පවත්වාගෙන යන ස්වේච්ඡා හෝ අන්‍යාකාරයක සෑම තැනැත්තෙකු විසින් ම එම ආයතනය වැඩිහිටි පුද්ගලයින් 05 දෙනෙකුට වඩා නේවාසිකව සිටින ආයතනයක් වන්නේ නම්, වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ දැක්වෙන විධිවිධානවලට අනුව ලියාපදිංචි විය යුතු ය.

මෙම ආයතනය කිසිදු රජයේ ආයතනයක ලියාපදිංචි කිරීමකින් තොරව හා රජයේ නිසි මාර්ගෝපදේශවලට අනුකූල නොවන පරිදි පවත්වාගෙන යාම හේතුවෙන්, මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදුකර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අඟුරුවාතොට පොලිස් ස්ථානය දැනුවත් කර ඇති බව වැඩිහිටි මහ ලේකම් කාර්යාලය නිකුත් කර ඇති වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ගින්නෙන් හානියට පත්වූ වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයේ ස්ථානීය පරීක්ෂණය සඳහා අද (ජූනි 04) පෙරවරුවේ හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම ස්ථානයට පැමිණ තිබුණි.

ගින්නෙන් හානියට පත්වූ වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය තුළදී ම පුද්ගලයින් 10 දෙනෙකු ගින්නට හසුවී ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, රෝහලගත කර සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගින්න ඇති වන අවස්ථාවේ අදාළ වැඩිහිටි නිවාසය තුළ පුද්ගලයින් 69 දෙනෙකු පමණ සිට ඇති බවත්, හොරණ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින්, පොලිසිය, සහන සේවා නිලධාරීන් සහ අසල්වැසියන් එක්ව එම මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 51 දෙනෙකු පමණ නිරුපද්‍රිතව බේරාගෙන ඇති අතර, මේ වන විට ඔවුන් ආරක්ෂිත ස්ථානයක් වෙත යොමුකර ඇතැයි මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී කරුණු අනාවරණය වී ඇත.

මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේදී වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයේ කළමනාකරු ලෙස කටයුතු කළ ඉසුරු අනුෂ්ක පෙරේරා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

මූලාශ්‍ර : බීබීසී සිංහල

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles