බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ.
භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත් පොහොය දිනයක් ලෙස බිනර පොහොය දිනය සලකනු ලබයි.
භික්ෂුණී ශාසනය ආරම්භ කරමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් පන්සියයක් බුදු සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුවූ වඩාත් සුවිශේෂී සිදුවීමකි.
එහිදී අෂ්ට ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකයි.
එකී ගරු ධර්ම පහත දැක්වේ.
- උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුව ද එදින ම උප සපන් වූ භික්ෂූහු දැකත් වැඳීම් ආදී ගෞරව දැක්විය යුතු ය.
- භික්ෂූන් නොමැති ප්‍රදේශයක් හි මෙහෙණක විසින් වස් නො වැසිය යුතු ය.
- අඩ මසක් පාසා මෙහෙණක විසින් භික්ෂූ සංඝයා ගෙන් පොහොය විචාළ යුතු යි. අවවාද දීමට පැමිණීම ද බලා පොරොත්තු විය යුතු ය.
- වස් අවසානයෙහි දී භික්‍ෂු භික්‍ෂුණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කටයුතු යි.
- ගරු ඇවැතකට පැමිණි මෙහෙණක විසින් උභතො සංඝයා කෙරෙහි අඩ මසක් මානත පිරිය යුතු යි.
- අවුරුද්දෙන් පුහුණු වෙමින් ශික්ෂමානාවක් ව සිට පසුව උභතො සංඝයා ගෙන් උපසම්පදාව ලැබිය යුතු යි.
- කවර කාරණයක් නිසා හෝ මෙහෙණක විසින් භික්‍ෂු කෙනෙකු හට අක්‍රොෂ පරිභව නො කටයුතු යි.
- මෙහෙණියන් විසින් භික්‍ෂුන් හට අවවාද නො කටයුතු ය. භික්‍ෂූන් විසින් භික්‍ෂුණීන්ට අවවාද කටයුතු ය.
තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත්, බුදුන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයේදී සිදුකර තිබේ.
එමෙන්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි පෝය දිනයක වන අතර වස් සමයේ අතරමැදි පොහොය ලෙස ද මෙම බිනර පොහොය සැලකේ.
බිනර පුරපසළොස්වක පොහොය දිනය නිමිති කොටගෙන අද දිනයේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් සංවිධාන වී තිබේ.