30.6 C
Colombo
Friday, June 5, 2026

වසර 111කට පෙර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා විසින් ඝා#නය කළ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ නැවත පරීක්ෂණයක් ඉල්ලූ හෙන්රි පේදිරිස් තරුණයා යනු කවුරුන් ද ?

1915 ජූලි 7 වන දින, එවකට 26 හැවිරිදි ශ්‍රීලාංකික තරුණයෙකුවූ Henry Pedris/හෙන්රි පේදිරිස් (b.1888) වෙඩිතබා මරාදැමුවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට අයත් 17 වන පන්ජාබ් රෙජිමේන්තුවේ සොල්දාදුවන්ගෙන් සමන්විත වෙඩි තැබීමේ කණ්ඩායමක් විසිනි. ⁣

මරනයට පෙර පේදිරිස් එක ඉල්ලීමක් පමණක් කර තිබුණි: එනම් ක්‍රිස්තියානි හෝ යුරෝපීය සොල්දාදුවන් අතින් නොව ආසියාතිකයන් අතින් තමන්ට මරනය හිමිවිය යුතු බවයි. ප්‍රධාන නඩු විනිසුරුවරයා ඊට එකඟ වූ අතර, මුස්ලිම් කැරලි මර්දනය කිරීමට සහාය වීම සඳහා ඉන්දියාවෙන් ගෙන්වා තිබූ පන්ජාබ් රෙජිමේන්තුවේ 28 වන බලකායේ භටයන්ට පේදිරිස්ට වෙඩි තැබීමේ නියෝගය ලැබුනි.

තමාට ලබා දුන් ඇස් ආවරණය ප්‍රතික්ෂේප කළ පේදිරිස්, කිසිදු බියකින් තොරව පන්ජාබ් භටයන්ට මුහුණ දුන්නේය. හරියටම පෙරවරු 8.00 ට වෙඩි හඬ නිකුත් වූ අතර, හෙන්රි පේදිරිස් තරුණයාගේ ජීවිතයේ අවසානය එතනින් සනිටුහන් කළේය.

බ්‍රිතාන්‍යයන් මෙම ඝාතනය සාධාරනීකරනය කලේ මුස්ලිම් ජාතිකයින්ගේ විරොධතාවක් සිදුවන විටක පේදිරිස් රිවෝල්වරයකින් වෙඩි උණ්ඩ මුදා හැරීම මගින් බ්‍රිතාන්‍ය කිරීටයට එරෙහිව යුද්ධ වැදීමේ රාජද්‍රෝහී කුමන්ත්‍රණයකට එම මුස්ලිම් ජාතිකයන් පෙලඹෙව්වාය යන ප්‍රධාන චෝදනාව ඉදිරිපත් කරමිනි. මෙම රාජද්‍රෝහී චෝදනාවට පේදිරිස් වැරදිකරු බව ක්‍ෂේත්‍ර (යුධ) මහාධිකරණ (Field General Court Martial) මගින් දින තුනක් ඇතුලත ඉතා ඉක්මනින් තීරණය කළ අතර ඔහුට මරණ දඬුවම නියම කරන ලදී.

බ්‍රිතාන්‍යයන් හෙන්රි පේදිරිස්ව මරා දැමූ නමුත්, එමගින් සැබවින්ම හෙළි වූයේ ඔවුන්ගේ පාලනයේ පැවති සදාචාරාත්මක පිරිහීමයි. එමෙන්ම ඔවුන්ගේ යටත්විජිත වාසීන් ශිෂ්ට කිරීමේ මෙහෙයුම යනු හුදෙක් හමුදාමය පාලනයක් වසා ගැනීමට යොදාගත් මතුපිට වැස්මක් පමණක් බව මෙයින් දේශීය ජනතාවට ඔප්පු විය. නමුත් මෙම ඝාතනයේ වරද බ්‍රිතාන්‍ය පාළනයට පමනක් පැවරිය හැකිද? ⁣

බ්‍රිතාන්‍ය පරිපාලනය මෙන්ම, එවකට මහා මුදලි (ආණ්ඩුකාරවරයාගේ ප්‍රධාන දේශීය පරිවර්තක සහ උපදේශක) ලෙස කටයුතු කළ සොලමන් ඩයස් බණ්ඩාරනායක ඇතුළු ඔවුන්ගේ දේශීය නියෝජිතයන් පේදිරිස් සහ ඔහුගේ පවුල කෙරෙහි දැක්වූ ඊර්ෂ්‍යාව, ඔහුට එරෙහිව අසත්‍ය චෝදනා ගොනු කිරීමට බලපෑවේය. අවසානයේදී ඔහුගේ යුද අධිකරණය දක්වා මෙහෙයවනු ලැබුවේ මෙම තත්ත්වයයි.⁣


හෙන්රි පේදිරිස්ගේ පවුල එවකට ලංකාවේ සිටි ධනවත්ම හා බලවත්ම පවුල්වලින් එකක්වූ අතර ඔහු අධ්‍යාපණය ලැබීමට රාජකීය විද්‍යාලය සහ සාන්ත තෝමස් යන විද්‍යාල දෙකටම ඇතුලත්විය. ඔහු සාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක්ව සිටි අතර පසුව රාජකීය විද්‍යාලය වෙනුවෙන්ද ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත විය. පේදිරිස් අමද්‍යප ව්‍යාපාරයේ සාමාජිකයෙක්ද වූ අතර අමද්‍යප ව්‍යාපාරය එකල බ්‍රිතාන්‍ය පාලනයේ දෝශ දර්ශණයටද ලක්විය. කොළඹ නගරාරක්ෂක රෙජිමේන්තුවේ ප්‍රථම දේශීය සාමාජිකයාදවූ ඔහු අති දක්ෂ වෙඩික්කරුවෙකු සහ අශ්වාරෝහකයෙකුද වූ අතර මෙම දක්ෂකම් නිසාද හෙන්රි පේදිරිස් ශ්‍රීලාංකිකයන්ගේ මෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේද ඊර්ශ්‍යාවට ලක්විය. ⁣

සැබැවින්ම මෙම කතාව ඔහුගේ මරනයෙන් නිම වන්නේ නැත.

වසර 111කට පෙර බ්‍රිතාන්‍යය රජයේ තීරණයක් මත හෙන්රි පේදිරිස්ව ඝාතනය කිරීම සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ/ Ranil Wikramasinghe මහතා ඉදිරිපත් කළ යෝජනාවකට 2023 දෙසැම්බර් 11 වන දින කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. ඔහුගේ යුද අධිකරණ ක්‍රියාවලිය, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සහ ඒ හා සම්බන්ධ කරුණු අධ්‍යයනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පිහිටුවන ලදී.⁣

ඔහුගේ මරණ දඬුවම ක්‍රියාත්මක කර වසර 109කට පසු, 2024 සැප්තැම්බර් 12 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් හෙන්රි පේදිරිස් වෙත මරණින් පසු ජනාධිපති සමාව ප්‍රදානය කරන ලදී.⁣

1916 දී ඩී. ඩී. පේදිරිස් සිය අභාවප්‍රාප්ත පුත්‍රයා සිහිපත් කිරීම සඳහා කොළඹ හැව්ලොක් ටවුන් හි ඉසිපතනාරාම විහාරස්ථානය ඉදිකරන ලදී. පේදිරිස්ගේ ප්‍රතිමා දෙකක් හැව්ලොක් ටවුන් හි සහ ඔහුගේ උපන් ගම වන ගාල්ලේ ඉදිකර ඇත. හැව්ලොක් ටවුන් හි ප්‍රතිමාව විවෘත කිරීමේ උත්සවයේදී එවකට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ යාබද ක්‍රීඩා පිටිය ඔහු සිහිපත් කිරීම සඳහා නැවත නම් කළ යුතු බවයි. ඒ අනුව 1987 ජූලි 7 වන දින එඩ්වඩ් හෙන්රි පේදිරිස් ක්‍රීඩාංගනය අග්‍රාමාත්‍ය ප්‍රේමදාස මහතා විසින් විවෘත කරන ලදී.⁣

ඩී. ඩී. පේදිරිස් මහතා පොළොන්නරුවේ වන්දනාකරුවන් සඳහා විශ්‍රාම ශාලාවක් ඉදිකර එය ‘එඩ්වඩ් හෙන්රි පේදිරිස් විශ්‍රාම ශාලාව’ ලෙස නම් කළ අතර, අනුරාධපුරයේ පේදිරිස් පවුලට අයත් කුට්ටම්පොකුණ කැලේ සහ බසවක්කුලම කැලේ යන ඉඩම්වලින් ලැබෙන ආදායමෙන් එය නඩත්තු කරන ලදී. පේදිරිස්ගේ මව වූ මැලිනෝ පේදිරිස් මහත්මිය 1920 දී සිය පුත්‍රයා සිහිපත් කරමින් දෙමටගොඩ මල්ලිකාරාම විහාරස්ථානය සඳහා එම ඉඩම පරිත්‍යාග කළාය.⁣

ඇත්තෙන්ම පේදිරිස් ඝාතනයෙන් බ්‍රිතාන්‍යයන් අපට දුන්නෙ පණිවුඩයකි: ‘නුඹලා කොතරම් උසස් තත්වයකින් ජීවත් වූවත්, නුඹලා සැම විටම ඉන්නේ අපට පහලින්ය. අපට අවශ්‍ය විටක අවශ්‍ය ලෙස නුඹලාව විනාශ කලහැක’. මේ පණිවිඩය අදටද වලංගු වන අතර, එබැවින් නිදහස ගැන මීට වඩා බරකොට සිතීමක් අවශ්‍ය බව මගේ පෞද්ගළික හැඟීමකි. ⁣

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles