අපේ රටේ බුද්ධි ගලනය ගැන අද අපි කතා කළාට, මතක තියාගන්න මේක අද ඊයේ පටන් ගත්තු දෙයක් නෙවෙයි. අද අපේ මේ කතාව ලංකාවෙන් බිහිවුණු ලෝක පූජිත ඉංජිනේරුවෙක් ගැන… ඔහු නමින් ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ හැබැයි මුළු රටම ඔහුව හැඳින්වූයේ කොන්ක්‍රීට් කුලසිංහ කියන අනුවර්ථන නමින්.
මෙය කියවන ඔබ මොහොතක් සිතන්න… කෙනෙක් තමන්ගේ මව් රට වෙනුවෙන් උපරිම ශක්තිය යොදවද්දී, පටු දේශපාලන වාසි සහ කුමන්ත්‍රණ නිසා රටෙන් එළවා දැමූ මිනිසෙක් ගැන, එයා ලෝකයම දිනලා නැවත තමන්ගේ රටටම සේවය කරන්න එනවා නම් ඒ මොන වගේ උත්තමයෙක්ද… කොතරම් නිහතමානි මිනිසෙක් ද…?
1944 දී කනිෂ්ඨ උප වරාය ඉංජිනේරුවෙකු ලෙස වරාය සේවයට එක්වන කුලසිංහයන්ට, වරාය භූමිය තමන්ගේ පරීක්ෂණාගාරය වගේ වුණා. කොන්ක්‍රීට් තාක්ෂණය ගැන ඔහු කළ අත්හදා බැලීම් කෙතරම් සාර්ථකද කියනවා නම්, 1963 වෙද්දී ඔහු වරාය අධිකාරියේ සභාපති ධුරය දක්වා ඉහළටම ගියා. කැළණිය ටයර් කම්හල, යක්කල ලෝහ කම්හල, ඔරුවල වානේ කම්හල වැනි රටේ දැවැන්ත කර්මාන්ත ශාලාවල අඩිතාලම වැටුණේ කුලසිංහයන්ගේ මොළයෙන්. 1962 දී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පිහිටුවා එහි සභාපති ලෙස ඔහු කළ සේවය වචනයෙන් විස්තර කරන්න බැහැ.
හැබැයි, දක්ෂයාට තැනක් නැති අපේ රටේ 1970 වෙද්දී කුලසිංහයන්ට එරෙහිව රහසිගත කුමන්ත්‍රණ දියත් වුණා. තමන් පණ මෙන් ආදරය කළ ඉංජිනේරු සංස්ථාවෙන් ඔහුව ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළා… තනතුරු වලට වඩා තම අභිමානය අගය කළ ඔහු, ඒ සියල්ල හැර දමා මැලේසියාවට ගියා.
දෛවයේ සරදම බලන්න… එකල ලංකාවේ සිටි නිවාස අමාත්‍යවරයා අඩු වියදම් නිවාස ගැන ඉගෙන ගන්න මැලේසියාවට ගිය වෙලාවේ, එහේ අන්තරාජාතික සම්මන්ත්‍රණයක දේශනය පවත්වන්නේ ලංකාවෙන් පන්නා දැමූ කුලසිංහයන්… මේක දැකලා ගියපු කට්ටියට තරු පෙනුනලු… මැලේසියාවට කොන්ක්‍රීට් බෝට්ටු තාක්ෂණය ඉගැන්වූයේ අපේ මේ හෙළ විද්වතායි.
දවසක් ලංකා රජය කොන්ක්‍රීට් සිලින්ඩර කොටන් (Sleepers) ගැන උපදෙස් ගන්න ස්විට්සර්ලන්තයෙන් විශේෂඥයෝ පිරිසක් ගෙන්නුවා. ඒ සුදු ඉංජිනේරුවෝ ලංකාවට ඇවිත් ඇහුවේ එකම දෙයයි.
“ඇයි ඔබලා අපිට මෙච්චර වියදම් කරලා ගෙන්නුවේ? මේ විෂය ගැන ලෝකෙටම උගන්වන්න පුළුවන් කුලසිංහ ඉංජිනේරුවරයා ඉන්නේ ඔබේ රටේ නේද?”
අන්තිමේදී වුණේ ස්විට්සර්ලන්ත විද්වතුන්ටත් කුලසිංහයන්ගෙන් පාඩම් ඉගෙන ගන්න සිද්ධ වුණු එකයි.
1977 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා බලයට පත් වූ පසු, ඔහුට කුලසිංහයන්ගේ වටිනාකම වැටහුණා. ඒ වෙද්දී ඔහු සිංගප්පූරුවේ සේවය කළේ මාසිකව රුපියල් මිලියන 2ක (එකල හැටියට අතිවිශාල මුදලක්) වැටුපකට.
නමුත් ජනාධිපතිවරයාගේ ඇරයුමෙන්, ඒ සියලු සැප සම්පත් අතහැර ඔහු ලංකාවට ආවේ රුපියල් 50,000 ක සොච්චම් වැටුපකට! ඒ ඔහු තුල ජීවත් වුන සැබෑ දේශප්‍රේමියා නිසා…
මහවැලි ව්‍යාපෘතිය අවසන් කරන්න අවුරුදු 30ක් යනවා කියලා විශේෂඥයෝ කියද්දී, කුලසිංහයන් ඒ අභියෝගය භාරගත්තා. ඔහු කිව්වේ “මේක අවුරුදු 6න් කරන්න පුළුවන්” කියලා. ඔහු ඒ සඳහා උපයෝගී කරගත්තේ විදේශීය තාක්ෂණය විතරක් නෙවෙයි. “නිඩඩ් සහ ක්‍රැසගැන්ඩී” යන විද්‍යාඥයින් ලියූ පැරණි ලංකාවේ වාරි තාක්ෂණය ගැන පොත්පත් ඔහු පරිශීලනය කළා. අපේ රාවණා යුගයේ සිට පැවත ආ පස් වේලි තාක්ෂණය ලෝකයට පෙන්නුවේ ඔහුයි.
මාදුරුඔය ව්‍යාපෘතියට ඔහු රුපියල් මිලියන 650ක ඇස්තමේන්තුවක් දෙද්දී, බලධාරීන් එය නොසලකා කැනේඩියානු සමාගමකට මිලියන 2800කට ලබා දුන්නා, මේක අපේ ඉතිහාසයට එකතු වුන කළු පැල්ලමක්.
අද අපි ආඩම්බරයෙන් නරඹන බොහෝ නිර්මාණ පිටුපස තිබෙන්නේ මේ අසමසම මොළයයි කළුතර මහා චෛත්‍යය (ලෝකයේ ප්‍රථම හිස් කොන්ක්‍රීට් චෛත්‍යය) කොත්මලේ මහා සෑය, කොළඹ ග්‍රහලෝකාගාරය , මහවැලි වේලි සහ වාරි පද්ධති..
කුලසිංහයන් කොළඹ ඉඳන් කොන්ක්‍රීට් බෝට්ටු හදලා හොංකොං වලට යවද්දී, ඔහුට රිදවන්න ධීවර අමාත්‍යාංශය ත්‍රිකුණාමලයට සුද්දෙක් ගෙනත් බෝට්ටු හැදෙව්වා කියලා කතාවක් තියෙනවා… ඒ තමයි අපේ රටේ මිනිස්සුන්ගේ කුහකකම,
ලෝක ප්‍රකට විද්‍යාඥ ආතර් සී. ක්ලාක් මහතා වරක් පැවසුවේ මෙවැන්නකි
“ලෝකයට සිහින දකින්නන් අවශ්‍යයි, ඒ වගේම ඒ සිහින සැබෑ කරන ප්‍රායෝගික ඉංජිනේරුවන් අවශ්‍යයි. ආචාර්ය කුලසිංහ යනු මේ දෙවර්ගයේම දුර්ලභ සංකලනයකි.”
ඔහු සැබවින්ම යුග පුරුෂයෙක්. කුලසිංහයන් දේශපාලන කුමන්ත්‍රණ හමුවේ සැලුණේ නැ. මුදලට තමන්ගේ දැනුම පාවා දුන්නේ නැ. මව් රටට ආදරය කළ ඔහු අවසන් හුස්ම හෙළන තෙක්ම නිර්මාණය කළේ හෙට දවසේ ලංකාවයි.
අදටත් අපිට කුලසිංහලා වැනි මිනිසුන් අවශ්‍යයි. නමුත් ප්‍රශ්නය නම්, අපේ රට තවමත් කුලසිංහලාට ආදරය කරන්න ඉගෙනගෙන තිබේද යන්නයි.

